උදා හිරු රැස් විසිරෙන
නීල පිණිදිය කැට මත
දඟකරන රැළි නගා
මල් තුහින විසිරුවා
නගන හසකැන් සරින්
පැහැදුලන සියක් සිත්
මිතුරුදමේ මකරන්දයට
සුවඳ දී සුපිපෙන්න...
ඉතින් එදා ඒ විදිහට ආරම්භ වුණු අපේ 'ඉඳුවර' ආනන්ද කුලරත්න ශාලාවේදී පසුගිය මැයි පස් වන ඉරු දින, මිතුරුදමේ සුවඳ දසත පතුරුවාලමින් සුපිපුණා.
මෙතෙක් කල් තමන්ගෙම බැච් එකේ අයගෙ දක්ෂතා නරඹපු eleven එකේ නංගිලා මල්ලිලාට එදා 'දහයේ' අපේ අයියලා අක්කලාගෙ දක්ෂතා බොහොම අපූරුවට නරඹන්නට රසවිඳින්නට ලැබුණා. ගීත, නාට්‍ය, නර්තන, වාදන යන අංග බොහොමයකින් 'දහයේ' අපේ අය දක්ෂතා එළිදැක්වුවා. සිංහල වගේම , දමිළ , හින්දි , ඉංග්‍රීසි භූතාන් භාෂාවලිනුත් අංග ඉදිරිපත් වුණේ මනාව සමබර අංග පෙළක් ප්‍රේක්ෂක සහෝදර සහෝදරියන්ට ලබාදෙමින්.
නංගිලා මල්ලිලා මෙතෙක් කල් එළිදක්වපු දක්ෂතා මෙහිදී ඇගයීමට ලක් වුණේ සහතිකපත් ප්රදානය මගින් පමණක් නෙවෙයි. එයාලටත් තම තමන්ගේ දක්ෂතා වලට වේදිකාවේ තැනක් ලබාදෙමින්.
'දහයේ' අපේම සහෝදර සහෝදරියන්ගේ සමගිය, ඉවසීම, කැපකිරීම් හමුවේ අවසානයේදී උත්කෘෂ්ඨ විදිහට නිමාවුණු 'ඉඳුවර' පීඨාධීපතිතුමන් වගේම, ඒ සුන්දර අවස්ථාවට සහභාගී වුණු අපේම ආචාර්ය මහාචාර්යවරුන්ගේත් ඉමහත් පැසසුමට ලක් වුණා. කොළඹ වෙද පියසේ ඉතිහාසයට කිසිදා නොමියෙන සුන්දර මතක ගොන්නක් එක් කරපු අපේ 'ඉඳුවර' eleven එකේ නංගිලා මල්ලිලාගෙ හිත් කොනක තැම්පත් වුණු ආදරණීය මතකයක් වුණා නම් ඒක තමා 'දහයෙ' අපේ ජයග්‍රහණය.
දිවි අරුණැල්ලේ හසකැන් රැඳුණු දනව්වේ
මඳ නලරැල්ලේ රැඳි සිතුම් සුවඳ හද මුසුවේ
පිබිදෙන්නේ හසරැල්ලයි සොයුරුදමේ
විහිදෙන්නේ සඳ කිරණයි මිතුරු පෙමේ
කඳුළු තිමිර පට බිඳදා - පැතුම් මිහිර සිත රඳනා
රඟදෙයි බබළයි - තරුකැන් දිදුළ එළි පරදා
නිසසල විල් තෙරේ - මල් මුවරද විසිරෙන්නේ
පිවිතුරු හද විලේ - නිල් 'ඉඳුවර' සුපිපෙන්නේ
බිඟුකැන් ගුමු ගුමු නදිනා - පැහැදුල් ඉඳුවර පිපෙනා
සුවඳයි සොඳුරුයි - අප සිත් සැම එක ලෙසිනා
Halcyon springs of friendship
Chimerical blossoms of love & warmth
Bloom in our welcoming hearts
For you... Just for you... !
-මීදුම-